නව කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ උගත් පාඩම් ඉදිරි ජීවිතය අර්ථවත් කර ගැනීමට යොදා ගමු.


නව කොරෝනා වෛරස ව්‍යාප්තිය සමස්ත ලෝකයටම තර්ජනයක්ව ඇති මොහොතක ශ්‍රී ලාංකේය ජනයාට ද එහි බලපෑමෙන් මිදීමට නොහැකිව තිබේ. මෙම වෛරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළ යම් සාර්ථක මට්ටමක පවතින බව පෙනේ. ආසාදිතයින් පිරිසෙහි සංඛ්‍යාත්මක වර්ධනයක් සිදු වූයේ නාවික හමුදා රණවිරුවන් පිරිසකට මෙම වෛරසය ආසාදනය වූවාට පසුවයි. නිවාඩු ලබා ගොස් සිටි පිරිසද කඳවුරු තුළට ගෙන්වා ගත් පසු සහ අනෙකුත් පිරිස් නිරෝධායනය කිරීමෙනි පසු නැවතත් මෙම වෛරස ව්‍යාප්තිය යම් පාලනයකට ලක් කර ගැනීමට හැකියාව ලැබී ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා කරයි. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ අනුවම තවදුරටත් කටයුතු කිරීමට රජය සැලකිලිමත් විය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ මේ දක්වා ඇතිකරගෙන තිබෙන සාර්ථකත්වය තවදුරටත් වගකීම් සහගතව පවත්වාගෙන යාමට ඒ හරහා හැකියාව පවතින අතර ඒ සඳහා රටේ සියලුම පුරවැසියන් තුළ ස්වයං-විනයක් පවත්වාගත යුතුව ඇත. දිගින් දිගටම පැනවීමට සිදු වූ ඇඳිරි නීතිය නිසා ජන ජීවිතය අඩාල විය. ඉදිරි සතිය තුළ ඇඳිරි නීති සීමාවන් යම්තාක් දුරකට ලිහිල් කරමින් ජන ජීවිතය නැවත යථා තත්ත්වයට පත්කිරීමට සූදානමක් ඇතැයි කියැවෙන මොහොතක  පසුගිය කාලයේ ජන ජීවිතයේ පැවති දුෂ්කර කාලසීමාව කියාදුන් පාඩම් පිළිබඳව නැවත ආවර්ජනය කිරීමෙන් එලෙස උගත් පාඩම් මතින් ඉදිරියේදී විවෘත වන සමාජ ජීවිතය අර්ථවත්ව ගත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කරනු ඇත. 

සමාජයෙන් වියුක්තව සිටීමට සිදු වීම අනපේක්ෂිත තත්ත්වයකි. මෙරට පැවති තිස් අවුරුදු යුද්ධය සමයේදී හෝ පශ්චාත් යුධ සමයේදී මෙලෙස මිනිසුන්ට සමාජයෙන් වියුක්තව සිටීමට සිදුව නැත. නමුත් මෙම වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ ව්‍යසනකාරී තත්ත්වය සමස්තයක් ලෙස මිනිසා පොදු සමාජයෙන් දුරස් විය. නමුත් මෙම කාල සීමාව තුළ සිදු වූ සාධනීය තත්ත්වයන් ගණනාවක් පැවති බවද සඳහන් කළ යුතු වන්නේ එලෙස උගත් පාඩම් ඉදිරි ජීවිතය ගත කිරීමේදී ද තවදුරටත් පවත්වාගෙන යාමෙන් තම ජීවිතය වඩාත් අර්ථවත් කරගැනීමට හැකියාව ලැබෙන නිසාය. 

මනුෂ්‍යත්වයේ වටිනාකම වටහා ගැනීමට මෙවන් අවස්ථාවක් යළි උදා නොවනු ඇත. නිවැරදි ජීවන දර්ශනයක් ගොඩනගා ගැනීමට ද වඩාත් උචිතම අවස්ථාව මෙයයි. මරණය වූ කලී සමාජ විෂමතාවයන් සහ පන්ති විෂමතාවයන් අභිබවා යන්නක් බව මෙම වෛරස තත්ත්වය වඩ වඩාත් තහවුරු කරන ලදී. සමාජයේ පහළම ස්ථරයන්හි දිවි ගෙවන්නන්ට ද සමාජයේ ඉහළම ස්තරයන්හි දිවි ගෙවන්නන්ට ද මෙම වෛරස තත්ත්වය ආසාදනය වීමේ පැහැදිලි ඉඩක් පවතී. කිරුළ හිමි චාල්ස් කුමරු, ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා  (Maria Teresa), විවිධ රටවල්වල ජනාධිපතිවරු අගමැතිවරු ඇතුළු පුද්ගලයන්ට ද මෙම වෛරස තත්ත්වය ආසාදනය විය. ඒ අතරින් පළමු රාජකීය මරණය ලෙස වාර්තා වූයේ ස්පාඤ්ඤයේ මාරියා තෙරේසා  (Maria Teresa) කුමරියගේ මරණයයි. මරණය ඉදිරියේ කිසිදු පුද්ගල විෂමතාවයකින් තොරව සියලුම මනුෂ්‍යයන් එක හා සමාන බව එමඟින් පැහැදිලි වේ. එමනිසා යහපත් ජීවන දර්ශනයක් ගොඩනගා ගනිමින් ඉදිරි ජීවිතය ගත කිරීමේ අඩිතාලම දැමීමට සුදුසුම අවස්ථාව මෙයයි. 

මිනිස් චිත්ත සන්තානයේ ඇති තෘෂ්ණාව, ආශාව ඉතාමත් ඉහළයි. මුදල් රැස් කිරීමේ අරමුණ සියලුම සමාජ හරයන් ඉක්මවා යන අවස්ථා ද බහුලයි. කාර්යබහුල ජීවිතයක් ගත කළ මිනිසුන්ට තම පවුලේ සාමාජිකයන් අතර හෝ යහපත් සම්බන්ධතාවයක් ඇති කරගැනීමට කාල වේලාව සොයාගැනීමට  දුෂ්කර විය. මුදල් සෙවීමට මිනිසුන් තුළ පවතින තෘෂ්ණාව සියලු ආකාරයේ සමාජ අගයන් සහ හරයන් විනාශ මුඛයට ඇද දමමින් පැවතිණි. නමුත් මෙම වෛරස ව්‍යාප්තිය හමුවේ සිය නිවසේම රැඳී සිටීමට සිදු වූ නිසා පවුලේ සාමාජිකයන් සමඟ කාලය ගතකිරීමට අසීමාන්තික නිදහසක් ලැබුණි. ආර්ථික වශයෙන් දැඩි බලපෑමක් සිදු වුවද නිවෙස් වලට පමණක් සීමා වීමට සිදු වීමෙන් ඇති වූ තත්ත්වය පවුලේ සාමාජිකයන් අතර යහපත් සම්බන්ධතා ගොඩනගා ගැනීමට සාධනීය වශයෙන් බලපාන බව කිව යුතුය. 

අප ජීවත් වන්නේ වාණිජකරණය වූ සමාජයක් තුළයි. ඒ හේතුවෙන්ම රටක පවත්වන උත්සව අවස්ථාවන් ද වාණිජකරණය වන්නේ නිතැතිනි. සෑම අවුරුද්දකම පාහේ කිසිදු මූල්‍ය පාලනයකින් තොරව සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කළ ජනයාට මෙවර එම අවස්ථාව මඟහැරී ගියේය. අලුත් අවුරුද්දට බොහෝ කලකට පෙර සිටම ආරම්භ වන ඇඳුම් පොරයට මෙවර ඉඩ ලැබුණේ නැත. සුරාවෙන් මත්ව සමරන උත්සවයක් බවට මෙවර අලුත් අවුරුද්දක පත් නොවීය. මෙවර වෙසක් උත්සවය ද වාණිජකරණය වූ වෙසක් උත්සවයක් ලෙස නොව ප්‍රතිපත්ති පූජාවන් වලට මුල් තැන දෙමින් කුසල් සිත් පෙරදැරිව පවුලේ සාමාජිකයන් සමඟ නිවසේ දී ආගමික කටයුතු සිදු කිරීමට හැකි ආගමික උත්සවයක් ලෙස සැමරීමේ හැකියාව ලැබුණි. මෙම උත්සවය වල හරයන් ආරක්ෂා කර ගනිමින් මෙවර වඩාත් අර්ථවත්ව මෙම උත්සව සැමරීමට අවස්ථාව සැලසුන බව මාගේ අදහසයි. දැන් බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව එළඹෙන පොසොන් උත්සවය හෝ "හොඳින්" සැමරීමයි. මෙලෙස "හොඳට සැමරීම" යන්නෙන් බොහෝ දෙනෙකු හඳුන්වන්නේ යහළු යෙහෙළියන් සමඟින් වන්දනා ගමන් විනෝද චාරිකා බවට පත් කරගනිමින් වැඩි වශයෙන් වාණිජකරණයට ලක් වූ ආමිස පූජාවන් වලට මුල් තැන දෙමින් කටයුතු කිරීම පිළිබඳවයි. නමුත් ඒවාට වඩා උත්සවශ්‍රීය අවමව වුවද මෙවර මෙම උත්සව වඩාත් අර්ථවත්ව සැමරීම සිදු වූ බව කිව යුතුය. 

රටේ පවතින තත්ත්වය හමුවේ "මත් වතුර හල්" වසා දැමීමට රජය කටයුතු කිරීම නිසා පවුල් බොහෝ සංඛ්‍යාවකට සෙත සැලසෙන්නට ඇත.  අඹු දරුවන්ගේ ජීවිත උකසට තබමින් සුරාවෙන් සූදුවෙන් ගතකළ මිනිසුන්ට නිවෙස් වලට පමණක් සීමා වී සිටීමට සිදු වීම තුළ තමාගෙන් තම පවුලට සිදු වූ අඩුලූහුඬුකම් පිළිබඳව අවධානය යොමු කර නැවතත් අලුතින් ජීවිතය දෙස බලන්නට සහ අලුතින් ජීවිතය ආරම්භ කිරීමට ලැබෙන අවස්ථාවක් ලෙස මෙම කාලය සැලකිය යුතුය. නමුත් නැවතත් රට යථා තත්ත්වයට පත්වූ පසු නැවතත් සුරාවෙන් සූදුවෙන් ගත කිරීමට පටන් ගතහොත් මේ වචන නිෂ්ඵල වේ. එමනිසා ජීවිතයේ යථාර්ථය වටහා ගනිමින් සුරාවෙන් සූදුවෙන් තොර ජීවිතයක් ආරම්භ කිරීමට ලැබෙන අවසන් අවස්ථාව ලෙස  මෙම කාලය සැලකිය යුතුය. 

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව ද දෙමාපියන්ගේ වැඩි අවදානයක් මෙම කාලය තුළ යොමු වන්නට ඇත. ගුරුවරුන් හරහා සිදු වන කාර්යය ඒ හා සමානව දෙමාපියන් හරහා සිදු වේ යැයි බලාපොරොත්තු විය නොහැකි වුවද පාසල් වසා දැමීමට සිදු වීම තුළ අඩාල වූ අධ්‍යාපන කටයුතු යම්තාක් දුරකට පවත්වාගෙන යාමට දෙමාපියන් කටයුතු කරන්නට ඇත. මෙම වසංගත තත්ත්වය ඉවත් වූ පසුව වුවද එලෙස තම දරුවන් හා කාලය ගතකිරීමට සහ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව අවධානයෙන් සිටීමට අමතක නොකළ යුතුය. 

රටේ පවතින තත්ත්වය හමුවේ මිනිසුන්ට විශාල වශයෙන් ආර්ථික දුෂ්කරතාවන් වලට මුහුණ දීමට සිදු වීම සහ පවතින ආහාර අර්බුදයට පිළියමක් සෙවීමේ උනන්දුවක් යළිත් ඇති ව තිබේ.

අතීතයේ දී වෙනත් රටවලට ආහාර ද්‍රව්‍ය අපනයනය කළ ආර්ථිකයක් අපේ රටේ පැවති බව තහවුරු කරන ඓතිහාසික සාධක පවතින්නේ වුවද වර්තමානයේ ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. එනම් වර්තමානයේ දී සිදු වන්නේ ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් ආනයනය කිරීමයි. පවතින ආහාර අර්බුදයට පිළියමක්  වශයෙන් නිවෙස් තුළ පවතින ඉඩකඩ කළමනාකරණය කර ගනිමින් වගා කටයුතු සිදු කිරීම පිළිබඳව නැවතත් කතිකාවක් ඇති වී තිබේ. පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙලක් ආරම්භ වී ඇත. මානව සම්පත්, අවශ්‍ය අමුද්‍රව්‍ය සහ ස්ථාන පැවතිය ද මෙතෙක් කලක් මෙවන් මහා පරිමාණ වගා කටයුතු ආරම්භ වී නැත. දේශපාලන වේදිකාවේදී ද "වගා සංග්‍රාම" පිළිබඳ මාතෘකාව කරලියට පැමිණියද එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේ ගැටලුව පැවතුනි. මෙම වසංගත තත්ත්වය පාලනයකට ලක් වී නැවත සමාජය යථා තත්ත්වයකට පත්වූ පසුවද මෙලෙස දේශීය කෘෂිකාර්මික ආර්ථික ක්‍රමය නගාසිටුවීමට කටයුතු කිරීමෙන් නැවතත් අතීතයේ පැවති සශ්‍රීක ආර්ථික තත්ත්වය ළඟා කර ගැනීමට හැකිවනු ඇත.

Article by- N.M.Buddhini Karunathilake
Published in the දිවයින News Paper on 11th May

Comments

Popular posts from this blog

The Buddha’s use of Language

Environmental Conservation in Japan and Human Engagement: Lessons for Sri Lanka: Insights from JENESYS SAARC Exchange Programme

A Buddhist Way of Conflict Resolution